20/07/2026
පොළොව යට සැඟවුණු අඳුරු පස් තට්ටු අතරින් මතු වන මැණික් කැටයක කාන්තිය හඳුනා ගන්නට සුවිශේෂී ඇසක් මෙන්ම සහජ වාසනාවක් තිබිය යුතුය. ලක් පොළොවෙන් මතු වූ, ඉතිහාසයේ විශාලතම මෙන්ම අඟනාම නිල් මාණික්‍යයේ (කිලෝග්‍රෑම් 43 ක් බරැති) හිමිකරුවා වෙමින් ලාංකේය මැණික් ඉතිහාසයේ රන් අකුරින් නම සනිටුහන් කළ කහවත්තේ ගුරුගේ මැණික් මුදලාලි හෙවත් ජිනදාස ගුරුගේ මහතාගේ ජීවිත කතාව කියවිය යුතු කතාවකි. ඔහු මහා ධනස්කන්ධයකට මෙන්ම මෙරට මැණික් ක්ෂේත්රයේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ දීප්තිමත් සන්නාමයක් වුවද, ඒ ආලෝකය පිටුපස තිබුණේ කටුක මෙන්ම අතිශය මානුෂීය, නොකියැවුණු සුන්දර ජීවන කතාවකි.
1938 දෙසැම්බර් 25 වැනිදා උපන් ජිනදාස ගුරුගේ පවුලේ බඩපිස්සා විය. රුහුණු රටින් රයිගම් කෝරලයට පැමිණි වැවිලිකරුවකු වූ ඉංගිරියේ නම්බපාන ප්‍රදේශයේ කුලවර්ධන ගුරුගේ සහ ඇලන් වික්‍රමසුරිය ඔහුගේ දෙමාපියන්ය. අබේදාස, පියදාස, විමලාවතී සහ ලීලාවතී ඔහුගේ සහෝදර සහෝදරියන් වූහ. කහවත්ත ඉලංගකෝන් වලව්ව සමඟ පැවති සමීප සබඳතාවය නිසා ඔහුගේ පියා ඉංගිරියේ සිට කහවත්තට පැමිණෙන්නේ වලව්වේ වැවිලිකරුවකු ලෙසිනි.
ජිනදාස ගුරුගේ සිය ජීවන වෘත්තිය ඇරඹුවේ ඉතාම සරල තැනකිනි. කහවත්ත නගරයේ වත්මන් පොදු වෙළඳපොළ භූමියේ කුඩා ස්ථානයක පින්තූර රාමු කිරීමේ වෘත්තියේ යෙදුණු ඔහු, පසුව කුඩා කඩ කාමරයක සිය ව්‍යාපාරය කරගෙන ගියේය. මේ අතරතුර රජයේ වතුවල පඩි දිනවලදී රෙදිපිළි රැගෙන ගොස් විකිණීම ද ඔහු විසින් සිදු කරන ලදී.
දිනක් රූමත් තරුණියක් සිය ඡායාරූපයක් රාමු කරවා ගැනීම සඳහා ගුරුගේ වෙත පැමිණියාය. එදා පැමිණි ඒ කාන්තාව, කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ ජීවන චාරිකාවේ මහා ශක්තිය මෙන්ම මැණික් ලෝකයේ හිණිපෙත්තටම ඔහුව රැගෙන යන වාසනාවන්තිය වනු ඇතැයි ඔහු නොසිතන්නට ඇත. ඇය නමින් ස්වර්ණලතා කරුණාරත්න විය. පිරිමි දරුවන් හත් දෙනෙකු සිටි පවුලක එකම ගැහැණු දරුවා වූ ස්වර්ණා සමඟ 1968 වසරේදී විවාහ වීමෙන් පසුව, ජිනදාස ගුරුගේ මහතා මැණික් ක්ෂේත්රය උඩුයටිකුරු කරන මහා ගමනක් ආරම්භ කළේය.
ඔවුන්ගේ කැදැල්ලට ගැහැණු දරුවන් හත් දෙනෙකු සහ එක් පුතෙකු එකතු විය. ඒ අචිනි, ලක්ෂි, ගයානි, රුවිනි, දිලිනි, දුලානි, ගිෂානි සහ ගයාන්ය.
කොලොන්න, රඹුක, උඩවලව, ඇඹිලිපිටිය, පනාමුරේ, කලවාන සහ නිවිතිගල වැනි දුෂ්කර ප්‍රදේශවල ඇවිදිමින් පතල් කැපීම සහ මැණික් මිලදී ගැනීම නිසා ගුරුගේ මහතා සතු තාක්ෂණික ඥානය බෙහෙවින් මුහුකුරා ගියේය. තට්ටු හැට-හැත්තෑවේ ගැඹුරු පතල් මෙන්ම 'පතස්' නැමති ලී දඬු රහිතව පතල් කැණීම පිළිබඳව ඔහු විශාරදත්වයට පත් විය. ජපන් තාක්ෂණයට අභියෝග කරමින්, තමන්ගේම පතල් තාක්ෂණික ශිල්පියකු වූ බෙලිඅත්ත බාසුන්නැහැ ලවා ශ්‍රී ලංකාවේ ප්‍රථම යන්ත්‍රානුසාරයෙන් මැණික් ගැරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රය නිෂ්පාදනය කිරීමටද ඔහු පුරෝගාමී විය. අදටත් ලංකාවේ භාවිත වන්නේ එම යන්ත්‍රයේ නවීන සංස්කරණයන්ය.
ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ පැල්මඬුල්ල ප්‍රදේශයෙන් හමු වූ එක්තරා මැණික් කුට්ටියක් සමඟිනි. ගෙපළක් කපද්දී හමු වූ මෙම ගල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුටම පෙන්වුවද, ඔවුන් පැවසුවේ එහි වටිනාකමක් නොමැති බවයි. එහෙත් ගුරුගේ මහතා තමාගේ තියුණු 'මැණික් ඇස' යොමුකර එහි සැබෑ අගය වටහාගෙන එකල හැටියට විශාල මුදලක් ගෙවා එය මිලදී ගත්තේය. පසුව එය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ලැබුණු කිලෝග්‍රෑම් 43 ක් බරැති විශාලම හා වටිනාම නිල් මැණික බවට පත් විය.
ව්‍යාපාරිකයෙකුට එහා ගිය දැවැන්ත සමාජ මෙහෙවරක් ජිනදාස ගුරුගේ මහතා අතින් සිදුවිය. කහවත්ත සැෆයර් ක්‍රීඩා සමාජය අරඹමින් ගමේ ක්‍රීඩකයන් ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහු, ලංකාවේ ප්‍රකට "දීපචාරිකා" සහ "ගුරුගේ මැණික්" පාපැදි සවාරි පවත්වමින් ඇන්තනි සීමන්ස්, මොරිස් කුමාරවේල් වැනි ශූරයන්ට අතහිත දුන්නේය. එමෙන්ම වසර 53 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ආ "ගුරුගේ මැණික් පොසොන් තොරණ" සබරගමුවේ සංස්කෘතික සලකුණක් විය.
අවුරුදු දාට කහවත්තේ ගුරුගේ නිවස ඉදිරිපිට සැතපුම් ගණනාවක් දිගු පෝලිම් ඇති වූයේ ඔහුගෙන් තුටු පඬුරු ලබා ගැනීමටය. මියයන තුරුම දිනපතා සිය නිවසට පැමිණෙන සිය ගණනකගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දීම ඔහුගේ දින චර්යාව විය.
1978 සුළි සුළඟින් පීඩිත වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය පිරවූ ලොරි 50-60 ක් රැගෙන ගොස් බෙදා දුන්නේය.
අම්පාරේ කොටි තර්ජනයට ලක්වූ ජනතාව වෙනුවෙන් නිවාස 100 ක් ඉදි කළේය.
සුනාමි ව්‍යසනයෙන් පසුව හම්බන්තොට මයුරපුර නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට මහා සංගමයේ සභාපතිවරයා ලෙස අනුග්‍රහය දැක්වීය.
ආබාධිත රණවිරුවන්ගේ "අභිමංසල" වෙනුවෙන්ද, කහවත්ත රෝහලේ භික්ෂු වාට්ටුව ඉදිකිරීම වෙනුවෙන්ද විශාල ධනයක් වැය කළේය.
ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ ලංකාවට පැමිණි එංගලන්තයේ මහරැජිනට, රත්නපුරේ නිමල් පතිරණ මහතා තෑගි කළ නීල මාණික්‍යය ලබා දීමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්කරු වූයේද ගුරුගේ මහතාය. ඔහු රටේ සෑම දේශපාලන නායකයෙකුම ළඟින් ඇසුරු කළ අතර, විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තිබූ මිතුදම සුවිශේෂී විය. රාජපක්ෂ මහතා නීතිඥයෙකු ලෙස රත්නපුර සහ පැල්මඬුල්ල උසාවි ආ අවස්ථාවලදී නිතරම ගුරුගේ නිවසට ගොඩවැදීමට අමතක නොකළ දේශපාලන නායකයෙකි.
රටේ ඉහළම ප්රභූන්ගේ සිට පතලේ වැඩ කරන මඩ තැවරුණු සාමාන්‍ය මිනිසා දක්වා එකම අයුරින් සැලකූ, ඉවසීම සහ කැපවීම තුළින් ජීවිතය ජයගත් ජිනදාස ගුරුගේ මහතා, මෙරට මැණික් කර්මාන්තයේ මෙන්ම මානුෂීය ගුණධර්මවලද නොමැකෙන සලකුණකි.
උපුටා ගැනීම - Sanjaka Prasad dolewaththa