14/04/2024
අපතේ යන ලංකාවේ මැණික්
ශ්‍රී ලංකාව යනු ඉතා විශාල මැණික් හා ඛනිජ ප්‍රමාණයක් හමු වන දූපතකි. ශ්‍රි ලංකාවේ නමින් හඳුන් වන මැණික් වර්ගද ලෝකයේ ඇත. උදාහරණ ලෙස ශ්‍රී ලංකයිට්, සෙරන්ඩිබයිට් මෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල යන නම ආශ්‍රයෙන් නම් කෙරුනු සිංහලයිට් දැක්විය හැක. එසේම ශ්‍රී ලංකාවෙන් මුලින්ම හමු වූ ඉතා වටිනා දුර්ලභ මැණික් වර්ගද ඇත. සෙරන්ඩිබයිට්, ටාෆයිට්, බැඩිලීට් උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ මැණික් සඳහා භාවිතා වූ නාමයන්ද මැණික් ලෝකයට එකතු වී ඇත. තෝරමල්ලි (Toumaline), අඹතෙස්( Amathyst ) කුරුවින්ද (Corundum) උදාහරණ ලෙස දැක්විය හැක. ලංකාවෙන් හමුවන මැණික් වර්ග ප්‍රමාණය 170 ද ඉක්මවයි. එහෙත් එකදු මැණිකක් වත් හමු නොවන හොංකොං රාජ්‍යය වාර්ෂිකව මැණික් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ද ඉක්මවද්දී ලංකාවට මෙතෙක් මැණික් අපනයනයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන භාගයක් වත් උපයා ගත හැකි වී නැත. එයට හේතුව කුමක්ද?
ප්‍රධානම හේතුව මැණික් කර්මාන්තයේ නියැලෙන උදවියගේ දැනුම ඉතාම පහල මට්ටමක පැවතීමයි. කුරුවින්ද පව්ලේ මැණික් වර්ග හා කණක පවුලේ මැණික් හැර අනෙකුත් මැණික් වර්ග බොහෝ දෙනෙකු මැණික් ලෙස සලකන්නේ නැත. ඉතා දුර්ලභ වටිනා මැනික් වර්ග නැවතත් පතල් වලටම විසිකර දැමීම ඉතා අවාසනාවන්ත තත්වයකි.
නවසොයා ගැනීම් හා පර්‍යේෂන ලංකාව තුල සිදු නොවීම තවත් අවාසනාවන්ත තත්වයකි. ශ්‍රී ලංකාවේ නමින් ශ්‍රී ලංකයිට් ලෙස නම් කළ මැණිකක් ඇති බව සාමාන්‍යය ජනතාව තබා කර්මාන්තයේ නියැලෙන්නන් පවා නොදනී. බැඩිලීට් වැනි වූ දුර්ලභ මැණික් වර්ග විදේශිකයන් විසින් ලංකාවෙන් සොයාගෙන ලෝකයට හඳුන්වා දුන්නද ඒ බවක් ශ්‍රී ලංකා වාසීන් නොදනි. ලෝකයෙන් මෙතෙක් වාර්තා වී ඇති කපා ඔප දමන ලද ස්වාභාවික බ්‍රොමෙල්ලයිට් මැණික් ගල් තුනක් ඇත. ඒ තුනම වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිලීමලෙ ප්‍රදේශයෙනි. ඒවා සොයා ගත්තේ නැසීගිය විශිෂ්ඨ රත්න විද්‍යාඥයකු වූ ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතාය. ස්වාභාවික කොබෝල්ට් නිල් කිරිංචි ලෝකයට හඳුන්වා දුන්නෙත් එතුමාමය. දුනිලයිට්, බොනිනයිට් එතුමා විසින් සොයා ගත් තවත් නව මැණික් වර්ග දෙකකි.
තෝරියම් මූලද්‍රව්‍ය අඩංගු වීම නිසා අධික විකිරණශීලීත්වයක් සහිත තෝරියනයිට් ලංකාවේ ඇලූවියල් නිධි වල බහුලව හමු උවද පතල් කරුවන් ඒවා විසිකර දමන්නේ කළු කට්ට ලෙස හඳුන්වමිනි. එසේම විකිරණශීලී ඇලනයිට් කළු ගල් ලෙස හඳුන්වමින් ගොඩවල් ගසා පැත්තක දමා ඇත.
මැණික් පිළිබඳ ඉතාම සුළු අවබෝධයක් සහිත විශේෂයෙන් කුරුවින්ද පවුල හා කණක පවුල පමණක් මැණික් ලෙස පිළිගන්නා උදවිය විසින් කර්මාන්තයට කරන හානියද අති විශාලය. මැණික් යනු මහ පොළොවේ නිර්මාණය වන ගල් ගෙඩි වේ. ඒවාට අගය එකතු කිරීමක් සිදු කර ඇත්තේ මිනිසුන් විසිනි. එසේ නම් අපේ රටේ හමුවන මැණික් වර්ග අප විසින්ම පහත් කිරීම ඉතා අනුවණ කමෙකි. ඒවාට වටිනා නම් එකතු කර අලෙවි කිරීමට අප සමත් විය යුතුය. ශ්‍රී ලාංකියයන් තමන්ගේ රටේ හමුවන මැණික් පහත් කොට සැලකුවද වෙනත් රටවල් එසේ නොකර විශාල ආදායම් උපයයි. ටැන්සනයිට් යනු දෘඩතාවය 6 - 61/2 අතර පවතින සොයිසයිට් පව්ලේ මැණික් ගලකි. එය මේ වන විට ඉතා වටිනා මැණික් ගලකි. එයට වටිනාකමක් ඉබේම ලැබුනේ නැත. එය ටිෆනි සහ සමාගම විසින් දැවැන්ත ප්‍රචාරණයක් සිදුකොට ජනප්‍රිය කර වූ මැණිකකි. රබහා පව්ලේ සාමාජිකයෙකු වන සැවෝරයිට් ද ටිෆනි සහ සමාගම එසේ ජනප්‍රිය කර වූ තවත් මැණික් වර්ගයකි. අප විසින් පලදු ලෙස හඳුන්වමින් ඉවත ලන සමහර මැණික් වර්ගවල පවතින පළදු රටා හා අන්තර්ගතයන් එම ගලෙහි වටිනාකම තවත් වැඩි කරන බව ලාංකිකයන් නොදන්නා තවත් අවාසනාවන්ත සිදු වීමකි. ලංකාවේ දියමන්තිද හමුවේ. ලංකාවේ දියමන්ති හඳුනා ගැනීම කෙසේ වෙතත් ලංකාවේ දියමන්ති හමුවන බව දන්නා අයෙක් වේ නම් හෙතෙම කන කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමටත් වඩා දුර්ලභ කාරනාවෙකි.
මැණික් හා ඛනිජ පිළිබඳ බලයලත් රජයේ ආයතන මගින් කර්මාන්තයේ දියුණුවට සිදු කරන බාධාවන් ගැන අප කතා නොකරන්නෙ, ඒවා කතා කිරීමෙන් පෞද්ගලික ආයතනයක් වන අපට එම ආයතන වලින් සිදු විය හැකි අපහසු තාවයන් වලක්වාගත යුතු නිසාය.
කෙසේ උවද ශ්‍රී ලාංකිකයින් ලෙස අපේ මැණික් ලෝකය තුල ජනප්‍රිය කර ඒවායි මුදල් ඉපැයීම අප විසින් කල යුතු දෙයකි. එබැවින් අපේ මැණික් අප විසින්ම පහත් කිරීම දැන්වත් නවතා දමමු.